Friday, October 21, 2016

ගොඩයාමෙන් ගොඩ ඒම...


බොහොම පැහැබරව ඉර පායපු දවසක, ඔහු කලින් සැලසුම් කර ගත්තු විදියට ඒ මහා සැලසුම් ගොන්නත් හිසේ තබාගෙන චමරියෙන් එලියට බහිනවා...පැහැබර දවසක් උනත් අහසේ අතරින් පතර වැසි වලාවන්ගෙන් ගැවසිලා තිබුනේ හරියටම අව්වත් එක්කලා වැස්සත් වස්සන්න ලෑස්තිවෙලා වාගෙයි. ගමේ ඉන්දෙද්දී වීයලි අහසට පුරාවට ගැබ්බර වෙච්ච වලාකුළු දිය බිඳක්වත් නොදී ගම්මානෙට ඉහලින් කොහේදෝ ඇතකට අරගෙන යද්දී ගම්මු එක්කල තරගෙට සුසුම් හෙලපු මේ කතා නායකයාට, නගරේදී නම් වැහි වලාවක් කියන්නේ ගොඩක් දුරට වැස්සක් බව සරසවියට අපු මුල් දවස් වලම තේරුම් ගිහිල්ලයි තිබුනේ. හිටිහැටියේම කළුවර වෙලා ඒ වලාවන් අතරින් පෙරීගෙන ඉර එලිය පොලවට වැටෙද්දී එදා දවස විශේෂයි වාගේ දැනෙන ඒ පුංචි හැඟීම තීවුර කරන අතරේ, තෙත දුවිලි සුවඳ මුසු සීතල සුළං දහරාවක් ගතේ වෙලෙද්දී "අද නම් නැකත් දවසක් වෙන්න ඇති... එකනේ උදෙන්ම වහින්න වාගේ... "ඔහු තමාටම හෙමින් මුමුන ගන්නව. ඔහු වැස්සට කෙතරම් කෑදර උවත් ඒ සොඳුරු මොහොත අඳුරුවෙලා යන බව සිහියට එද්දී ඔහුගේ ඒ සතුට මදකට වියැකී යනවා.
විශ්වවිද්‍යාලයට ඇවිත් ගෙවුන කෙටිකාලයේ ඔහුගේ හිත එක්තරා තරුණියක ළඟ නතර වෙනවා. නමුත් කිසිම දිනක ඒ බව ඇයට ඉඟියකින් හෝ නොහඟවා සිටීමට ඔහු උත්සුක වෙනවා. ඉතා ප්‍රියමනාප යුවතියක් වන ඇය හා දොඩමලු වීමට කෙතරම් උත්සහ කලත් ඔහුට අවශ්‍යම වෙලාවට මාතෘකාවක් සිතට නොනැගීම නිසා ඈ හා කතාවට විටෙක අවකාශ ලැබුනත් එවන් බොහෝ අවස්ථා ඔහු විසින්ම මග හැර ගන්නවා. කොහොමනුත් තව දුරටත් සඟවාගෙන ඉන්නට බැරිම තැන ඔහු සිය අදහස් ප්‍රකාශ කරන්නට දිනයක් යොදා ගන්නවා. නමුත් ඒ ඇ අද දවසේ එනවාද නැද්ද යන්නවත් හරි හැටි සනාථන වූ තොරතුරක් නොමතිව ඔහු උදෑසැනින් ගොස් සරසවි සිවුමන්සලේ දී ඇය හමුවන බලපොරත්තුවෙන් මග බලන් ඉන්නවා.
හරියටම පැයකට කිට්ටු කාලයක් ඉඳලත් මැය එන වගක්වත් නැත. වෙල්වල කුඹුරු වල දුව පැනපු ඔහුට කකුල් කෙදෙත්තුවෙන් නම් ගානක් නොමැති උවත් කුසගින්නනම් දරාගත නොහැක්කකි. ඉදින් බැරිම තැන ළඟ කඩයකට රින්ගාගන්නේ උදේටත් නොකා මේ ඉන්න ඉඳිල්ල තව කොච්චර කාලයක් දීර්ඝ වේවිදෝ යන්න ගැන හරි අවබෝදයක් නැතිකම නිසාවෙන්ය. කොමෙන් කොමහරි ගත්තු පැටිස් එකයි, රෝල් එකයි කන්න ගත්ත විතරය... ඇයගේ බඳු චායාවක් ඈතින් දිස්වන්නට විය... "එත් ඒ එයමද...? ඔව් ඒ ගමන මට දුරට අදුන ගන්න පුළුවනි..." ඔහු තමන්ටම ඒ දසුන එලෙස ලහිලහියේ සනාථ කරගනිමින් කකා උන්නු රෝල් එක කටේ ඔබගෙන, ඉතුරු පැටිස් එක කලිසං සාක්කුවේ දාමාගෙන කඩෙන් එලියට පැනගන්නේ අදනම් කෙසේ හෝ ඇය හා කතා බස් කරන බවට පෙරදා රැ පුරා සැලසුම් කල ආකාරයටය... පාරේ වාහන අස්සෙන් රිංගා කෙසේහෝ ඇය ගමනේ යෙදෙන දිශාවට පැන ගත්තත් ඇය කෙල්ලකට අවේනික "නොදැක්කා සේ" ගමනේ යෙදෙන්නට විය... ඔහු සිය ගමනේ වේගය මදක් වැඩි කොට ඇය පසුකර ඉදිරියට යමින්..."සුබ උදාසනක් මිස්" ලෙස පොඩි ගෞරව පුර්වක අමන්ත්රනයකින් අයගේ උවන ආක්‍රමණය කළේය... "ආ සුබ උදාසනක් කොහොමද...?" පිළිතුර හිතුවට වඩා සුහද එකක් උන එක ගැන ඔහු යටිහිතින් සතුටු වෙනගමන් ඒ සතුට මුනෙන් පිළිබිඹු නොවෙන්න ඔහු මහත් පරිශ්‍රමයක් දරන්නට විය.
කෙසේ හෝ ඔහුගේ සැලසුමේ ආකාරයට ඇය සරසවියට පැමිණෙන නවකයන් උදෙසා ඉදිකළ වෙල්කම් තොරණ ගාවට කැඳවා යා යුතුයි..."කොහොමද තොරණ...ගියපාර එක මතකනේ... ඊට වඩා මේ පාර හදපු අලුත් විදිය ගැන මොකද හිතන්නේ...?" ඇයගෙන් විස්තරාත්මක පිළිතුරක් බලාපොරොත්තු වුවද ඔහුගේ ඒ දීර්ඝ ප්‍රශ්නයට ඇය පිළිතුරක් ලෙස සපයන්නේ "වරදක් නෑ හොදයි" යන්න පමණි. ඒ අසම්පුර්ණ පිළිතුරින් ඔහුගේ සිතට මඳ වේදනාවක් එක්කරත් 
ඔහු පළමු කොටගත් කාරණයට යන්නට ඇති උත්සාහය අත්හරින්නේ නැත.
සත්තකින්ම ඒ තොරණ අසලදී ඔහුගේ සිතඟිය ඇයට පවසන්නට තෝරගත්තේ, එහිලා වැඩිමනත් ඔහුගේ දායකත්වය යටතේ නිර්මාණයක් වුවක් නිසාත්, ඒ පිලිබඳ ඇය හා පුරසාරම් දෙඩීමට ඇති මහත් ආශාවත් නිසාත්ය. කෙසේ හෝ ස්වකිය නිර්මාණය අසල සිටීමෙ එළඹවා ගත් අභිමානයක් එක්කොට වෙල්කම් එකට ගසූ තොරණ යට සිට ඔහු ඇයට කළ පෙම් ආරාධනය හමුවේ ඇයගේ පිලිතුර සතුට දනවන්නක්නම් නොවිය. "තමුන්ට පිස්සු හැදීගෙන එනවද...? එවන් පිළිතුරක් ඔහු කිසිවිටකත් ඇයගෙන් ඒ මොහොතේ බලාපොරොත්තු නොවිය... "තමුසේ වාගේ ගොං type බුවෙක්ට කැමති වෙන්න මට අසනීපයක් තියනවා කියලා හිතුවද ?" ගිරුවාපත්තුවේ ඈත කෙළවරක සිට විශ්වවිද්යාලයට පැමිණි ඔහුට මේ කියූ type කතන්දරේ එකවරම නොතේරින. නමුත් ඇගේ මුවින් පිටවූ වදන් වල ස්වභාවය අනුව, ඇය තමාට අකමැති බවත්, එය එක හෙලාම ප්රකාශ කළබවත් නම් ඔහුට වැටහිණි. ඔහු විසින් ඇයට තිලින කිරීමට රැගෙන ආ සිප්පිකටු අශ්වයා තවමත් ඔහුගේ සුරතේ ගුලිවී ඇත. දැන් ඉතින් කරන්නට දෙයක් නැත. ඔන්න ඔහේ මේ පුංචි තෑග්ග ඇයටම පුදා එතැනින් පිටව යායුතුය... එසේ සිතු ඔහු, ඇය අමතා "ඔයාගේ අත පොඩ්ඩක් දෙනවද...?" යනුවෙන් විමසන්නේ මෙතෙක් වේලා සිය සුරතේ ගුලිකොට තබා උන් සිප්පිකටු අශ්වයා ඇයගේ සුරතේ තැබීමටය. එහෙත් සිදුවුයේ අනිකකි. එයින් තවත් කෝපයට පත්වූ තරුණිය, "මැනර්ස් දන්නැති කොහෙද යන මෝඩයෙක්" කියමින් එතනින් යුහුසුළුව ඉවත්ව යන්නීය.
ඉතාමත් සුළු කාලයක් සිදුවූ මේ විපර්යාසය පිළිබඳව තවමත් ඔහුට සිතා ගන්නට නොහැක. ඇය දුටු හදිස්සියේ සාක්කුවේ දමාගත් පැටිස් එකද සාක්කුවේ හිලකින් කකුල දිගේ පහලට රුරා ඇවිත්ය... තැලී පොඩිවී තිබු ඒය තව දුරටත් පැටිස් එකක් ලෙස දිස්නොවිය...එහෙත් එය ඔහු විසින් ඇය පිළිඹඳව ධනාත්මකව කල්පනාවේ හිඳි අවසන් මොහොත සිහිකරවන සොඳුරු මතකයක් ම විය. ඔහු ප්‍රධාන ගේට්ටුව අසල වෙල්කම් එකට ඉදිකළ තොරණ පාමුල වාඩිවී, හීන වී ගිය අත්ම ශක්තියෙන් යුතුව ඉබාගාතේ කල්පනාවට වැටින... සිත් වේදනා දුරුකරගන්න්ට ඔහුගේ චමරියේ සගයන් ගන්න උපායන් ඔහු සිහිකරන්නට විය. කාලක් ගත්තත් හන්දියේ බාර් එකේ නිකං බොන්න දෙන්නේ ද නැත. ඉන් එහා විකල්පයක් සොයමින් පාර අද්දර බිම වාඩිවී වටපිට බලන ඔහුට ඈතින් එන කතරගම බස් රථයක් දිස්වන්නට විය... මා ගෙදර යා යුතුයි... ඔහුට සිය මව්, ඔත්පල වූ පියා මෙන්ම සිය බාල නැගණියන් තිදෙනාද සිහිවන්නට විය.... මේ නන්නාදුන නගරෙන් පිටවී ගමේ ගියහොත් නැවතත් සිය සිහිනුවන එළැබව ගතහැකියේ ඔහුට සිතෙන්නට විය. එහෙත් ඔහු සන්තකේ ඇත්තේ කඳුලුපිරි දෙනෙතින් අම්මා අන්තිමට ගමෙන් එද්දී සිය දෑතේ ගුලිකොට තැබූ සොච්චමෙනුත් අඩක් පමණි.... එයත් වියදම් කොටගෙන හදිස්සියේම ගමට කඩාගෙන වැටුනහොත් එය සිය මව්ගේද කලබලයට හේතුවන අතරම, ඊටත් ඔත්පල පියා ගේ සැපදුකද බලමින් හේනේ දුවිලි පොලව එක්ක ඔට්ටු වෙන මවගේ හිතට තවත් කරදර පැටවිමකි. කුඩා කලසිටම ඔහුගේ මව ඔහු හේනේ වැඩට සම්බන්ද වනවාට කැමැත්තක් දැක්වුයේ නැත. ගමේ එකලාගේ ඇනුම්පද මැද ඇය සිය එකම කොලුවා ව පන්සලේ ස්කෝලෙට පුරුදු කරවුයේ කිසියම් දිනක ලුණුගම්වෙහෙර වෑ කන්ඩියෙන් එහා ලෝකයක් ඔහුට උරුමකර දීමට තිබු දැඩි උවමනාව නිසාමය. කුඩාකල සිටම පත පොතේ වැඩට දස්සයා වූ මොහු කවරහෝ දිනක සිය බාල දියණියන් තිදෙනාද මේ දුෂ්කර දිවියෙන් මුදාලනුඇති බවට ඇයට සිනේදු විශ්වාස කෙරුවාය. ඒ විශ්වාසයන් සපත කරමින් පන්සලේ ස්කොලෙන් මුල්වරට උසස්පෙළ සමත්ව විශ්ව විද්‍යාල වරම් හිමිකරගන්නට තරම් මොහුට වාසනාවන්ත වීය.
"ආ එන්න, ශීට් තියනවා නගින්න, කව්රුත් මග නගින්න්න එපා, අලුත්ගමින් එහා නගින්න... ඉක්මන් කරන්න... ඉක්මන් කරන්න... " කතරගමයාට අමතරව ලුනුගම්වෙහෙරටම යන බස් එකක්ද තරගයට මෙන් තදබදය අස්සේ රිංගමින් කෙසේහෝ නොදනිම ඔහු අසල නැවතුම ළඟටම ඇවිත්ය...
ඔහුට ඔහු ගැනම ලැජජා සහගත බවක් දැනෙන්නට විය. ඉඩෝරයට පවා පියවීයාමට නොදී ඔහු පිලිබඳ බලාපොරොත්තුවේ දෑස් දල්වා සිටින මව් ගේ හා නැගණියන් ගේ කඳුළු අමතක කොට වෙනත් නන්නාදුනනා ස්ත්‍රීයකගේ ජිවිතයට සවියක් වන්නට උත්සුක වන type එකේ එකෙකු වන්නට ගොස් වී ප්‍රතික්ෂේප වීම ගැන ඔහු ඔහුටම දොස් පවරාගන්නට විය...
ඔහු සැනින් වාඩිවී උන් තැනින් නැගිට ගත්තේය... ආ එන්න නගින්න... මල්ලි කොහාටද...?
ඔහු බසයට නැගුනේ නැත...
ඒ වෙනුවට සරසවි සිවිමන්සලේ විරු ස්මාරකය පසුකොට තැබෑරුම් මාවත අසලින් ඉහලට හැරී ඔහු ධම්මාලෝක විහාරය දෙසට පිය නගන්නට විය...
මෙහි එන සියලුම නම් ගම් මනංකල්පිතය... 

Monday, November 30, 2015

දෙබිඩ්ඩෝ...

ටික දවසක් තිස්සේ එක දිගට වැහැපු වැස්ස පායල තිබ්බත් ඒ ආකාසෙන් වැටිච්චි වතුර වලින් මුළු පරිසරයම තවමත් පෙඟීලා තෙත්වෙලා. ඒ තෙත පුරුදු දුවිල්ලට එකතු වෙලා නාහෙට හරි අමුතු විදියේ සීතල කිතියක් ගෙන එනවා. අසාමාන්‍ය උණුසුමක් සහිත පොසිල ඉන්ධන මුසු ඒ හුස්ම පොදට තාවකාලිකව සමුදෙන්න හිතාගත්තු මම, කඩිමුඩියේ කොල්ලුපිටියේ ලිබර්ටි එක ගාවින් මතු වෙච්චි මාතර බස් එකක නැග ගන්නවා. බැලූ බැල්මට දේව විමානයක් වගේ පෙනුන බස් එකේ තිස්තුන් කෝටියක් දෙව් රූප පෙරටු කරත් අපූරු සංගීත සාජ්ජේයක් තිර ගත වෙනවා. ප්ලග් නොකරපු සීට් බෙල්ට් එක සාරි පොට වගේ ඇඟ උඩින් දා ගත්තු ඩයිවර් කපු මහත්තය, අලුත් ලේලන්ඩ් කොට ජියර් එක තුනෙන් එකට දාලා අපිව සාජ්ජේ සද්දෙට නටවල ගන්නවා. මේ අල්ල පනල්ලේ යාන්තම් මං සීට් එකක් බදාගෙන වාඩිවෙනවා. 
ඒක තුනේ සීට් එකක් වෙච්චි. බැලූ බැල්මටනම් විශ්ව විද්‍යාල ශිෂ්‍යයෝ දෙන්නෙක් වගෙයි.! මගේ එක් පසක ඉතිරි ද්වී අසුන් වල කොල්ලන් දෙදෙනකු සැහැල්ලු කතා බහක යෙදෙයි. මදක් උස් හඬින් කෙරුණු එකී සංවාදය අද ලංකාවේ පුද්ගලික විශ්ව විද්‍යාල බිහිවීම ගැනයි. ලාංකීය සමාජය තුල සැමා හට එක ලෙස ලංවිය නොහැකි ආයතන වෙත අධ්‍යාපන අයිතිය පවරාදිම ගැන විනාඩි 30ක් පමණ පුරා ඉතා අපුරු විවරණයක යෙදුනු ඔවුන් ගැන මම පැහැදුනෙමි. මා හටද ඔවුන් සමග යමක් දොඩන්නට සිත්විය. නමුත් කොන්දොස්තර ගුරුන්නාන්සේ පඩුරු ඉල්ලගෙන ආ නියා ඒ සිතුවිල්ල මට මදක් ප්‍රමාද කරගන්නට සිදුවුණි. නමුත් ඒ අවසරයෙන් උක්ත සිසුන් දෙදෙනාගේ මුවෙන් නික්මුණු වදන්ද මෙහිලා අකුරු කිරීමට කැමැත්තෙමි. "weekend එකේ නිකං ගෙදර ඉන්නවට වඩා නරකද බං ගමේ A/L class එකක්වත් පොඩියට පටන් ගත්තොත්...? ඔව් බං මටත් හිතිලා තියෙන්නේ...නිකං ගෙදර ඉන්න එකේ පැයකට අඩුම 1500ක් වත් කපන්න පුළුවන්. උබට කියන්න English medium කලොත් ගේමක් නැතිව 2500ක් වත් පැයකටට කපාගතහැකි..." මම අනිච්චානුගවම ඔවුන්ගේ මුහුණු දෙස එබී බැලුවෙමි. ඒ අන් කවරක්නිසා වත් නොව, කොන්දා ඉතුරු සල්ලිත් අරං මාරු වෙන වංගියේ පෙරකී කන්නන්ගර දරුවන් පරයා නැගුනු, මෙකි හඬේ අයිතිය පසිඳලීමට නොහැකිව විපිළිසර වීමෙනි. 
මොහොතකට පෙර, මුදල් මත අධ්‍යාපනය තීරණය නොකලයුතුය යන්න ගැන අධෝමුව විකා ගෙන දෙසා බෑ මොවුන් දෙපලගේ ගේ මුවින්ම මේ කියවෙන්නේ කවරක්ද...? ඔවුන්ගේ සිතුවිලි...මදක් විමසා බලන්න...!

සැ:යු :- මේ සටහන සමස්ථ ශිෂ්‍ය ප්‍රජාවෙන් අතලොස්සක් නියෝජනය කරන, සිය පැවැත්ම උදෙසා "දෙබිඩි" ආකල්ප උසුලන්නා වූ අයවලුන් පිරිස ගැන අප්‍රසාදයෙන් ලියවුවක් බව සලකනු මැනවි...

රෝදයකට පුලුවන්ද මිනිස්කම දෙන්න ...?


උදේ පායපු ඉර
කියුවත් නවතින්න
ඇහුන-නෑහුන ගානට 
බහින හැටි හිමිහිට
දකුණු වෙරළට
හරි අගෙයි
හවහකට...!
පානදුර පහුවෙලා
කළුතරට කිට්ටුව
වස්කඩුව මයේ හිතේ...
රෝද තුන දෙක වෙලා
නැවතිලා ඇල වෙලා
ඇතුලේ උන්
පොඩි එකා අඬනවා
ඇහෙන කොට,
බැලුවේමි හිස යොමා
කවුළුවෙන් අනෙක් පස,
තඩිම තඩි භරනියක්
වගේ රතු වෙසල් එක
යටකළා මග හැලුණු
අහිංසක ත්‍රී රෝදේ
උගේ ගෙට හැරෙන තැන
ගැලවිලා වටුනුකොට ....

අලුත් හේතුව...

ඉස්සර පුංචි කලේ උදේට ඇහැරෙන්නේ පහල වෙලත් එක්ක යා වෙලා තියන පුංචි පිට්ටනියේ ගැටගහන වහු පැටියාගේ සද්දෙට... කාලය ගෙවිලා හිටිහැටියේ ඔත්පල වෙච්ච කිරි කඩේ සියා ගේ අභාවයත් එක්ක, කිරි හරකත් එක්කම ඒ පුංචි වහු පැටියත් රහසේම හොරු දක්කාගෙන ගිහින් තිබුනේ කඩේ අච්චි අම්මත් ලෙඩ ඇඳේ ඉන්දෙද්දීමයි. ඒ එලදෙනත් එක්ක හිටපු හරක් පට්ටියෙන් ගමේ වටපිටාවේ ගෙදරක පැල ඉනිවැටක් කෙහෙල් දැල්ලක් එළවලු කරලක් බේර ගන්න තිබ්බ අමාරුව නිසාම ගමේම කෙනෙක් ඔය දේ කළා කියලයි, වැස්සිත් පැටියත් නැති දුකින්ම මියැදෙන්න වුන කඩේ අච්චි අම්ම අන්තිම වචන ටිකෙන් කියල තිබුනේ. කොහොමින් කොහොම ඒ අහිංසක සත්තු දෙන්නගේ ඉරණම ඒ විදියට ලියවෙද්දී, පහල වෙලත් වෙන්දේසි වෙලා පොඩි පහේ මොන්ටිසොරියකුත්, තට්ටු දෙකේ තුනේ ගෙවල් කිහිපයකුත් ඒ හරක් බැඳපු, පොඩි උන් සෙල්ලං කරපු කොලපාට වෙලේ මතක මත අද ඉදිවෙලා...

කරුණු කාරනා ඔය විදියට සිද්ද වෙද්දී, ස්කොලේවත් නොයන වයසේ උන්නු මට උදෙන් ඇහැරෙන්න වෙනත් හේතුවක් හොයාගන්න සිද්ධවෙනවා. අද වගේ ඇහැ ඇරලා අයෙමත් ඇහැ පියාගන්න තරම් හේතු වෙන වැඩ කන්දරාවක් ඔලුවේ නැති නිසාමද නැත්නම් මේ ලෝකෙට අලුත් කෙනෙක් වෙච්ච නිසාද කොහේදෝ එලිවෙන්න නැගිටගෙන මිදුලට බහින එක තරම් සතුටක් ඒ කාලේ තිබුනේ නැති තරම්. වහු පැටියත් නැතිවෙච්චි, මගේ ඊළඟ එලර්ම් එක උනේ උදේ පාන්දර අම්බලන්ගොඩට යන පලවෙනි CTB බස් එක. අම්බලන්ගොඩ ඩිපෝ එකට තිබ්බ එකම බෙන්ස් බස් එක වෙච්චි, මේ 23 ශ්‍රී දොර දෙකේ රතු බස් එක ගොඩක් දවසට අපේ ගෙවල් පහලදී බොයිල් කරන්න ගන්නවා. ඉතින් ඒ බව දැන දැනත් විකල්ප නැති හැමදාම උදේට වැඩට යන මිනිස්සු බස් එකෙන් බැහැගෙන ගෝරනාඩු කරන සදෙට බෙන්ස් එන්ජිම බොබ් බොබ් ගලා සමච්චල් කරනකොට ඔන්න මම ඇහැරෙනවා. එත් කාලයත් එක්ක AB1 කියන අංකය පරණ බෙන්ස් එකෙන් ගැලවිලා අලුත් අශෝක් ලේලන්ඩ් එකක පින්තාරු වෙද්දී, දැන් දැන් පහේ බස් එක ගේ ගාවින් ගිහිල්ල කියල දැනගන්නේ ඔරලෝසුවේ උදේ පහ පන්නපු කටු දිහා බලලයි.

ඔය විදියට කාලය විකාශනය වෙද්දී, විවිධ සාර්ථක වගේම සැහෙන්න අසාර්ථක හේතු උදෙන් නැගිටින්න අත්හදා බලනවා. එත් මේ හදිස්සියේ ඕව ඔක්කොම මතක් උනේ මේ නිවාඩුවට ගෙදර ආපුවාම ටිකක් අමුතු විදියේ අද්දැකීමක් උදේට නැගිටින්න හේතු වෙච්ච නිසයි. ඒ දැන් දැන් උදෙන්ම ගිනිකොණ දිග ඉතා ඉහල අහසෙන් මතුවෙලා සුදු පාට රේකාවක් මවාගෙන ටිකක් සද්දෙට වයඹ අහසින් අතුරුදහං වෙන මගී ගුවන්යානා නිසයි. ගොඩක් දුරට මේ අලුත් ගමන්මඟට හේතුව මත්තල හදිසි ගොඩබෑමක් ඉලක්ක කර ගත්තු ඉන්දුනීසියාව, ඔස්ට්‍රේලියාව වගේ පෙරදිග රට වල ඉඳන් ඩුබායි හෝ ඒ හරහා යුරෝපය වෙත ගමන්ගන්නා යානා වෙන්න පුලුවන්. කටුනායක පැත්තේ එහෙම ඉන්න අයට නම් මෙව්වා සාමාන්යය දේවල් උනාට, මේ සිද්දිය නම් මට නුහුරු අලුත් අත්දැකීමක්... එත් හෙට අනිද්දා උදේට හා රාත්‍රියට එක ගමන් වාරය බැගින් ගුවනේ සරන මේ ඝෝෂාකාරී තනි මගී යානය වෙනුවට තව බොහෝ යානා ගමන් ගන්නට ගත්තොත් උදෙන් නැගිටින එක කෙසේවෙතත් රෑට නිදා ගන්න එකත් අව්ලක් වෙන්න පුලුවන්... -_- :D







Saturday, August 22, 2015

ෆූඩ් සිටියට ගියෙමි...



විවේකි සෙනසුරාදා උදෙන්ම අම්බලන්ගොඩ ටව්මට රිංගුවේ තෙල් ටිකකුත් ගහගෙන පත්තරෙයි, තව බඩට දා ගන්න එව්වා මෙව්වා ටිකක් අරගන්නත් එක්කයි. සුනිල එක ගාව පාර පුරා උදේ පංති අපු කොල්ලෝ කුරුට්ටෝ පාරේ යන කෙල්ලන්ව පිළිගන්න පේලි හැදීගෙන බලන් ඉන්නව. ලස්සනට ඇඳුම් ඇඳලා, A/L සර්ලගේ නම් ගහපු ෆියිල් කවරත් තුරුල් කරං පාරේ වාහන නැතත් හරිම පිලිවලට අර අපුරු මානවකයන් ඉන්න තැන ඉස්සරහ කහ ඉරෙන්ම තාලයට පැද්දෙමින් පාර මාරු වෙලා, තරුණ මානවිකාවෝ ටිකත් පන්ති වලට පාවෙනවා. මම වමට සිග්නල් දාල ෆූඩ්සිටියට හරවල නවත්තල, ඉස්සර පුරුද්දට අර A/L පංති පැත්ත බලනවා. ඇත්තටම වමට ඒවා ඇස නොගටෙන්නට වම් පැත්තේ බිත්ති පින්තාරු  කිරීමෙන් වැලකී ජරා වාස වෙන්නට හැර, කව්ලුවලට ඉරීගිය රෙදි කඩමාලු එහෙමත් යහමින් එල්ලලා තිබෙනවා.  

මොහොතක් කල්පනාවට බට මා යලි මෙලොවට පැමිණෙන්නේ ඈතින් ඇසුණු පැසුණු අයකුගේ උගුර පෑදීමේ හඬකිනි. ඒ ෆූඩ් සිටියේ ආරක්ෂක නිලදාරී තැනයි. මෙලෙසින් මා වෙත විමසිලිවන්තව ඇතින් ඇදී එන ඒ වයෝවෘර්ද ආරක්ෂක නිලදාරියා හා මම අනිචනුගවම සිනාසුනෙමි. නමුත් බලාපොරොත්තු විරහිත ලෙස  අව්යාජ මිත්රශීලි ප්රතිචාරකින් ඔබ්බට ගොස් මාහට  සිනහවකින් සංග්රහ කිරීමෙන් නොසෑහුන ඔහු, බොනට් එක වටේ කැරකි රියදුරු අසුනේ කව්ලුවෙන් මා වෙත එබිකම් කරන ලදී. මා සිතු ලෙස එය බොහෝ විට රිය වෙනත් තැනක ගාල් කිරීමේ ඉල්ලීමක් හෝ ඉඩ ඇහිරීමක් ගැන දැන්වීමක් වියයුතුය.නමුත් සිදුවුයේ අනෙකකි. පුතා මේ කොහේ යන ගමන්ද ? තවමත් සිනහවෙන් පිරුණු ඔහු මා අමතයි. මා පැමිණි වග සරලව පසක් කලද ඔහු කව්ලුවෙන් නික්මෙන වගක් නම් නැත. මම දෙබෑම රැලි කොට ඔහු දෙස බලුවමි. නෑ පුතා මම මේ බැලුවේ අඳුනන කෙනෙක්වත්ද කියල. මේ වාහන පාර්ක් එකේ එහෙමත්ම කෙනෙක් තමයි මාත් එක්ක හිනා උනොත් හිනා වෙන්නේ... එකයි මම මේ අඳුනවවත්ද කියල බැලුවේ. මා අපහසුතාවට පත්වූ වදෝ යැයි සිතා මේ වනවිට ඔහු අපහසුතාවට පත්වී ඇතිබව හැඟී... "අපි කව්රුත් මිනිස්සුනේ අංකල් ටිකක් හිනා උනාම මොකද වෙන්නේ " කියා උස් හඬින් සිනාසී ඔහුගේ චකිතය නැතිකිරීමට  මම උත්සහ ගතිමි. නමුත් ඔහු යන පාටක් නම් නැත. ඒ වෙනුවට ඔහු මා හමුවේ යම් කිසි විස්තරයක් ගෙනහැර පෑමට සැරසෙන හැඩක්  දිස් වී ඊට අවදානය දුනි. මේ ඔහුගේ කතාවයි...

පුතාට කියන්න, පහුගිය අව්රුද්ද කාලේ මෙතන හරියට සෙනග... වාහනේකට හැරෙන්නවත් ඉඩක් නැහැ. අහ් ! ඔන්න එක පාරම ආව වැන් එකකින් මහත්තයෙක්. හරිම කලබලෙන් වටපිට එහෙම බැලුවෙ. වාහනේ දාන්න තැනකුත් නෑ. මම ෆූඩ් සිටියේ දොර ළඟ ඉඳන් සිද්දිය බලාගෙන උන්නේ. ඔන්න ඉතින් මම ඈත තියන් සිද්දිය බලාගෙන ඉන්නවා ඒ මහත්තය දැකපි. වචනයෙන් පමණක් නොව උක්ත සිද්දිය අංග චලන හරහාද ඔහු මා ඉදිරියේ චිත්‍රණය කරන්නට විය... ඉතිං අංකල් මොකද එපාර උනේ...  කුමක් හෝ රසවත් සිදුවීමක් සිදුව ඇති බව ඔහුගේ භාව ප්‍රකාශනයෙන් වටහා ගෙන උන් මම, ඇවිස්සුනු කුතුහලයෙන් යුතුව ඔහුගෙන් ප්‍රශ්න කලෙමි. 

පුතාට කියන්න, මහත්තය දුවගෙන අවේ නැතැයි මං ගාවට. ඔහු ඒ පුද්ගලයා පැමිණි දෙසට දෑත් දිගුකරවමින් රංග දක්වයි. දන්නවද ඇවිල්ල මට කියපු දේ... ? දැඩි ආවේගශීලි බවක් දැන් දැන් ඔහුගේ මුවට ආරෝපණය වෙමින් තිබුණි. ඔහුගේ ශෛලියට ගැලපෙන ලෙස මාද බැරෑරුම් මුහුණක් මවා "අංකල් ම කියන්නකෝ..." යනුවෙන් ඔහුට උල්පන්දම් දුන්නෙමි. "ඒ මිනිහා...! " ලෙස වර නැගු ඔහු, අකාසය දෙස බලා සුසුමක් හෙලීය...ඒ මිනිහ ඉඳන් මට ඇවිත් කියනවා... තමුසේ නේද කාර් පාර්ක් එකේ සිකියුරිට් ? තමුසේ ගේ රස්සාවෙන් මට වැඩක් නෙහෙ, මං වාහනේ පාරෙන් එහා නවත්තනවා මං එනකන් ගිහින් එතනට වෙලා මගේ වාහනේ බලා ගන්නවා ! මට ප්‍රශ්න කිරීමට ඉඩ නොතැබූ ඔහු ඒ පිටටම වදන් ගලපන්නට විය. මං ඒ මහත්තයට කියුව මහත්තයෝ මේ...මම මෙතන සේකියුරිට් බව හැබව, වාහන බලාගන්න එක මගේ රජ කාරිය බවත් හැබෑව. මහත්තයට පුලුවන්නම් මාව කියල අස්කරන්න, මම නම් නෙහැ පාරේ පාරේ වාහන පරිස්සම් කරන්න. වදන් අහවර කල ඔහු සුසුම් ලන්නට විය... මාහට කීමට යමක් ඇත්තේද නැත. තවත් ඔහුට හැඟීම්බර වීමට ඉඩනොදිය යුතුයේ සිතුතැන මා ඔහුගෙන් විමසුවේ, අද ඔෆ් වෙන්නේ කීයටද යන්නයි. නමුත් ලැබුන පිළිතුරට අනුව ඔහුගේ දිනයේ ඕෆ් එකක් නැත. පුතේ මම උදේ 7ට පටන් ගන්න වැඩ ඉවර කරන්නේ 5ට ඊ ගාවට මං ගාල්ලේ ගබඩාවක් බලාගන්න නයිට් ඩියුටි... මම තවත් දේ විමසීමට නොගියෙමි. නමුත් පැහැදිලිවම මාස් පතා ප්‍රශස්ත මුදලක් ඔහු සියදෑතට ගන්නා බවනම් නිසැකය. ඔහුට ඔහුගේ රැකියාව ආශීර්වාදයකි. ඔහු ඇතුළු පව්ලේ දු දරුවන් රැකෙන්නේ ඒ ගෞරවනීය වෘර්තියේ අනුහසිනි. ඔහු සතුව තව බොහෝ අත්දැකීම් බෙදා ගැනීමට ඇති බව හැඟුනත් එය මතු දිනකට කල් තැබීමට කාලය වාරණයක් ගෙන තිබුණි.

පුංචි සිනහවකින් මිනිසකු කතා කරවීමට හැකිබව මා අසා තිබුනත්. එය මේ තරම් අයකුගේ හදවතට සමීප වීමට තරම් ප්‍රභල ඇතයි මම මෙතුවක් විශ්වාස නොකලෙමි... අප සමාජයේ ජිවත්වන ඉහ මොළ උදුම්මවා ගත්තවුන්ගේ ගොදුරක් වූ මේ වෘත්තීකයා, අවසානයේ මාගේ දෑස දෙස එක එල්ලේ බලා ඇසු පැනයත් මෙලෙස සටහනට එක් කරනමි.
පුතේ... මම ඒ මහත්තයට ඒ කතා කල විදිය හරිද... ? 

Friday, July 17, 2015

දුම්රියේ ඔබට හමුවන ඇය...

බොහෝ වෙලාවට ලංකාවේ ගොඩක් දෙනෙක් එක වරක් හෝ දුම්රියේ ගමන් කරලා ඇති. ඒ වගේම එදිනෙදා දුම්රියේ ගමන් පහසුව සලසා ගන්න අය මෙන්ම මුළු ජිවිතයම දුම්රිය කර ගත් මිනිස්සුත් ඇති. නමුත් මේ කියන්න හදන්නේ නම් ඒ කොයි විදියට ගමන් කරත්, යම් විදියකින් ඔබට යාබද අසුනේ යුවතියක් අසුන් ගෙන ඇත්නම් දකින්න පුළුවන් පොදු ධර්මතාවයක් ගැනයි... :D

සැබවින්ම ඇය ස්වීඩ්න්, ජර්මානු හෝ බ්‍රිතාන්‍ය  වැනි යුරෝපා ජාතික යුවතියක් නම්, පොදුවේ ඔබ කෙරේ දැඩි මිත්‍රශීලී බවක් නොදක්වන නමුදු සුහද පිළිසඳරකට යෝග්‍යතාවකින් යුක්ත වේ. පිළිසඳර අවසන ඔබට ඇයගෙන් බලාපොරොත්තු විරහිත උණුසුම් hand shake එකක් ලබා ගත හැකිය.

එමෙන්ම ඇය තායි, බුරුම හෝ ජපන් වැනි නැගෙනහිර ආසියාතික යුවතියක් නම්, යුරෝපා යුවතියන් සතු නොවූ ආවේනික මිත්‍රශීලි බවක් පෙන්නුම් කෙරෙන අතර බොහෝදුරට සිනහ පිරි මුවින් සංවාදයේ යෙදෙයි. එමෙන්ම සෑම විටම ඔබට ආචාරශිලිව ස්තුතිපුර්වක වීමට අමතක නොකරන ඇය ගමනන්තයේදී ඔබට, ඔබෙන්ම අහුලා ගත් සිංහල වචන වලින් සංග්‍රහ කිරීමක්  බලාපොරොත්තු විය හැක.

නමුත් ඇය පාකිස්තානු, බංගලි හෝ ටජික් වැනි රටකට නෑකම් පායි නම් කරුණාකර ඇය සමග පිළිසඳරේ යෙදීමට නොයන්න.! මන්ද බොහෝවිට අලුත විවාපත්  බිරිඳක් ලෙස සිය විවාහක සැමියා සමග සිය දිවියේ පළමු හෝ අවසාන චාරිකාවේ යෙදෙන ඇයට එහි නියම අරුත විඳගන්නට ඉඩ දෙන්න.

නමුත් ඔබේ යාබද අසුනේ සිටිනා ඇය ලාංකික යුවතියක් වී නම්, ඔබ කෙරේ දැඩි නොරිස්සන ස්වාභාවයක් පෙන්නුම් කිරීම සාමාන්‍ය ස්වභාවය වේ. දොඩමලු උවද බලාගත් අත බලා සිටීම්, ගමන පුරාවටම රවාබැලීම්, බුම්මා ගැනීම් වැනි ලාක්ෂණික පෙන්නුම් කරන ඇය, ගමනාන්තය තෙක්ම ඔබ දෙස හොරෙන් බැලීම සිදු කරයි. කෙසේ නමුත් ඔබ සතුව ඇති වටිනා දුරකතනයක් හෝ ටැබ්ලොයිඩ් එකක් ඇය ඉදිරියේ දිග හැරීමෙන්, පසුම්බියේ මුදල් නැතත් ඇති ලෙස අත දමා ගණන් කිරීමෙන්, ඉංග්‍රීසි පුවත්පතක් මිලට ගෙන ඉතා ඔනෑ කමින් කියවීමෙන්  ඉහත ගැටළු පහසුවෙන් නිරාකරණය කර ගත හැක.!

හුදෙක් නිරීක්ෂණය පාදක කොට රචනා කර ඇති අතර, අත්හදා බැලීමේදී ලැබෙන අනපේක්‍ෂිත ප්‍රථිපල හා සිදුවන අවමානයන් ගැන කතෘ වගකියනු නොලැබේ... ;)  


දුමා: අම්බලන්ගොඩයාගේ ලෝකය