Saturday, August 22, 2015

ෆූඩ් සිටියට ගියෙමි...



විවේකි සෙනසුරාදා උදෙන්ම අම්බලන්ගොඩ ටව්මට රිංගුවේ තෙල් ටිකකුත් ගහගෙන පත්තරෙයි, තව බඩට දා ගන්න එව්වා මෙව්වා ටිකක් අරගන්නත් එක්කයි. සුනිල එක ගාව පාර පුරා උදේ පංති අපු කොල්ලෝ කුරුට්ටෝ පාරේ යන කෙල්ලන්ව පිළිගන්න පේලි හැදීගෙන බලන් ඉන්නව. ලස්සනට ඇඳුම් ඇඳලා, A/L සර්ලගේ නම් ගහපු ෆියිල් කවරත් තුරුල් කරං පාරේ වාහන නැතත් හරිම පිලිවලට අර අපුරු මානවකයන් ඉන්න තැන ඉස්සරහ කහ ඉරෙන්ම තාලයට පැද්දෙමින් පාර මාරු වෙලා, තරුණ මානවිකාවෝ ටිකත් පන්ති වලට පාවෙනවා. මම වමට සිග්නල් දාල ෆූඩ්සිටියට හරවල නවත්තල, ඉස්සර පුරුද්දට අර A/L පංති පැත්ත බලනවා. ඇත්තටම වමට ඒවා ඇස නොගටෙන්නට වම් පැත්තේ බිත්ති පින්තාරු  කිරීමෙන් වැලකී ජරා වාස වෙන්නට හැර, කව්ලුවලට ඉරීගිය රෙදි කඩමාලු එහෙමත් යහමින් එල්ලලා තිබෙනවා.  

මොහොතක් කල්පනාවට බට මා යලි මෙලොවට පැමිණෙන්නේ ඈතින් ඇසුණු පැසුණු අයකුගේ උගුර පෑදීමේ හඬකිනි. ඒ ෆූඩ් සිටියේ ආරක්ෂක නිලදාරී තැනයි. මෙලෙසින් මා වෙත විමසිලිවන්තව ඇතින් ඇදී එන ඒ වයෝවෘර්ද ආරක්ෂක නිලදාරියා හා මම අනිචනුගවම සිනාසුනෙමි. නමුත් බලාපොරොත්තු විරහිත ලෙස  අව්යාජ මිත්රශීලි ප්රතිචාරකින් ඔබ්බට ගොස් මාහට  සිනහවකින් සංග්රහ කිරීමෙන් නොසෑහුන ඔහු, බොනට් එක වටේ කැරකි රියදුරු අසුනේ කව්ලුවෙන් මා වෙත එබිකම් කරන ලදී. මා සිතු ලෙස එය බොහෝ විට රිය වෙනත් තැනක ගාල් කිරීමේ ඉල්ලීමක් හෝ ඉඩ ඇහිරීමක් ගැන දැන්වීමක් වියයුතුය.නමුත් සිදුවුයේ අනෙකකි. පුතා මේ කොහේ යන ගමන්ද ? තවමත් සිනහවෙන් පිරුණු ඔහු මා අමතයි. මා පැමිණි වග සරලව පසක් කලද ඔහු කව්ලුවෙන් නික්මෙන වගක් නම් නැත. මම දෙබෑම රැලි කොට ඔහු දෙස බලුවමි. නෑ පුතා මම මේ බැලුවේ අඳුනන කෙනෙක්වත්ද කියල. මේ වාහන පාර්ක් එකේ එහෙමත්ම කෙනෙක් තමයි මාත් එක්ක හිනා උනොත් හිනා වෙන්නේ... එකයි මම මේ අඳුනවවත්ද කියල බැලුවේ. මා අපහසුතාවට පත්වූ වදෝ යැයි සිතා මේ වනවිට ඔහු අපහසුතාවට පත්වී ඇතිබව හැඟී... "අපි කව්රුත් මිනිස්සුනේ අංකල් ටිකක් හිනා උනාම මොකද වෙන්නේ " කියා උස් හඬින් සිනාසී ඔහුගේ චකිතය නැතිකිරීමට  මම උත්සහ ගතිමි. නමුත් ඔහු යන පාටක් නම් නැත. ඒ වෙනුවට ඔහු මා හමුවේ යම් කිසි විස්තරයක් ගෙනහැර පෑමට සැරසෙන හැඩක්  දිස් වී ඊට අවදානය දුනි. මේ ඔහුගේ කතාවයි...

පුතාට කියන්න, පහුගිය අව්රුද්ද කාලේ මෙතන හරියට සෙනග... වාහනේකට හැරෙන්නවත් ඉඩක් නැහැ. අහ් ! ඔන්න එක පාරම ආව වැන් එකකින් මහත්තයෙක්. හරිම කලබලෙන් වටපිට එහෙම බැලුවෙ. වාහනේ දාන්න තැනකුත් නෑ. මම ෆූඩ් සිටියේ දොර ළඟ ඉඳන් සිද්දිය බලාගෙන උන්නේ. ඔන්න ඉතින් මම ඈත තියන් සිද්දිය බලාගෙන ඉන්නවා ඒ මහත්තය දැකපි. වචනයෙන් පමණක් නොව උක්ත සිද්දිය අංග චලන හරහාද ඔහු මා ඉදිරියේ චිත්‍රණය කරන්නට විය... ඉතිං අංකල් මොකද එපාර උනේ...  කුමක් හෝ රසවත් සිදුවීමක් සිදුව ඇති බව ඔහුගේ භාව ප්‍රකාශනයෙන් වටහා ගෙන උන් මම, ඇවිස්සුනු කුතුහලයෙන් යුතුව ඔහුගෙන් ප්‍රශ්න කලෙමි. 

පුතාට කියන්න, මහත්තය දුවගෙන අවේ නැතැයි මං ගාවට. ඔහු ඒ පුද්ගලයා පැමිණි දෙසට දෑත් දිගුකරවමින් රංග දක්වයි. දන්නවද ඇවිල්ල මට කියපු දේ... ? දැඩි ආවේගශීලි බවක් දැන් දැන් ඔහුගේ මුවට ආරෝපණය වෙමින් තිබුණි. ඔහුගේ ශෛලියට ගැලපෙන ලෙස මාද බැරෑරුම් මුහුණක් මවා "අංකල් ම කියන්නකෝ..." යනුවෙන් ඔහුට උල්පන්දම් දුන්නෙමි. "ඒ මිනිහා...! " ලෙස වර නැගු ඔහු, අකාසය දෙස බලා සුසුමක් හෙලීය...ඒ මිනිහ ඉඳන් මට ඇවිත් කියනවා... තමුසේ නේද කාර් පාර්ක් එකේ සිකියුරිට් ? තමුසේ ගේ රස්සාවෙන් මට වැඩක් නෙහෙ, මං වාහනේ පාරෙන් එහා නවත්තනවා මං එනකන් ගිහින් එතනට වෙලා මගේ වාහනේ බලා ගන්නවා ! මට ප්‍රශ්න කිරීමට ඉඩ නොතැබූ ඔහු ඒ පිටටම වදන් ගලපන්නට විය. මං ඒ මහත්තයට කියුව මහත්තයෝ මේ...මම මෙතන සේකියුරිට් බව හැබව, වාහන බලාගන්න එක මගේ රජ කාරිය බවත් හැබෑව. මහත්තයට පුලුවන්නම් මාව කියල අස්කරන්න, මම නම් නෙහැ පාරේ පාරේ වාහන පරිස්සම් කරන්න. වදන් අහවර කල ඔහු සුසුම් ලන්නට විය... මාහට කීමට යමක් ඇත්තේද නැත. තවත් ඔහුට හැඟීම්බර වීමට ඉඩනොදිය යුතුයේ සිතුතැන මා ඔහුගෙන් විමසුවේ, අද ඔෆ් වෙන්නේ කීයටද යන්නයි. නමුත් ලැබුන පිළිතුරට අනුව ඔහුගේ දිනයේ ඕෆ් එකක් නැත. පුතේ මම උදේ 7ට පටන් ගන්න වැඩ ඉවර කරන්නේ 5ට ඊ ගාවට මං ගාල්ලේ ගබඩාවක් බලාගන්න නයිට් ඩියුටි... මම තවත් දේ විමසීමට නොගියෙමි. නමුත් පැහැදිලිවම මාස් පතා ප්‍රශස්ත මුදලක් ඔහු සියදෑතට ගන්නා බවනම් නිසැකය. ඔහුට ඔහුගේ රැකියාව ආශීර්වාදයකි. ඔහු ඇතුළු පව්ලේ දු දරුවන් රැකෙන්නේ ඒ ගෞරවනීය වෘර්තියේ අනුහසිනි. ඔහු සතුව තව බොහෝ අත්දැකීම් බෙදා ගැනීමට ඇති බව හැඟුනත් එය මතු දිනකට කල් තැබීමට කාලය වාරණයක් ගෙන තිබුණි.

පුංචි සිනහවකින් මිනිසකු කතා කරවීමට හැකිබව මා අසා තිබුනත්. එය මේ තරම් අයකුගේ හදවතට සමීප වීමට තරම් ප්‍රභල ඇතයි මම මෙතුවක් විශ්වාස නොකලෙමි... අප සමාජයේ ජිවත්වන ඉහ මොළ උදුම්මවා ගත්තවුන්ගේ ගොදුරක් වූ මේ වෘත්තීකයා, අවසානයේ මාගේ දෑස දෙස එක එල්ලේ බලා ඇසු පැනයත් මෙලෙස සටහනට එක් කරනමි.
පුතේ... මම ඒ මහත්තයට ඒ කතා කල විදිය හරිද... ? 

No comments:

Post a Comment