Monday, November 30, 2015

දෙබිඩ්ඩෝ...

ටික දවසක් තිස්සේ එක දිගට වැහැපු වැස්ස පායල තිබ්බත් ඒ ආකාසෙන් වැටිච්චි වතුර වලින් මුළු පරිසරයම තවමත් පෙඟීලා තෙත්වෙලා. ඒ තෙත පුරුදු දුවිල්ලට එකතු වෙලා නාහෙට හරි අමුතු විදියේ සීතල කිතියක් ගෙන එනවා. අසාමාන්‍ය උණුසුමක් සහිත පොසිල ඉන්ධන මුසු ඒ හුස්ම පොදට තාවකාලිකව සමුදෙන්න හිතාගත්තු මම, කඩිමුඩියේ කොල්ලුපිටියේ ලිබර්ටි එක ගාවින් මතු වෙච්චි මාතර බස් එකක නැග ගන්නවා. බැලූ බැල්මට දේව විමානයක් වගේ පෙනුන බස් එකේ තිස්තුන් කෝටියක් දෙව් රූප පෙරටු කරත් අපූරු සංගීත සාජ්ජේයක් තිර ගත වෙනවා. ප්ලග් නොකරපු සීට් බෙල්ට් එක සාරි පොට වගේ ඇඟ උඩින් දා ගත්තු ඩයිවර් කපු මහත්තය, අලුත් ලේලන්ඩ් කොට ජියර් එක තුනෙන් එකට දාලා අපිව සාජ්ජේ සද්දෙට නටවල ගන්නවා. මේ අල්ල පනල්ලේ යාන්තම් මං සීට් එකක් බදාගෙන වාඩිවෙනවා. 
ඒක තුනේ සීට් එකක් වෙච්චි. බැලූ බැල්මටනම් විශ්ව විද්‍යාල ශිෂ්‍යයෝ දෙන්නෙක් වගෙයි.! මගේ එක් පසක ඉතිරි ද්වී අසුන් වල කොල්ලන් දෙදෙනකු සැහැල්ලු කතා බහක යෙදෙයි. මදක් උස් හඬින් කෙරුණු එකී සංවාදය අද ලංකාවේ පුද්ගලික විශ්ව විද්‍යාල බිහිවීම ගැනයි. ලාංකීය සමාජය තුල සැමා හට එක ලෙස ලංවිය නොහැකි ආයතන වෙත අධ්‍යාපන අයිතිය පවරාදිම ගැන විනාඩි 30ක් පමණ පුරා ඉතා අපුරු විවරණයක යෙදුනු ඔවුන් ගැන මම පැහැදුනෙමි. මා හටද ඔවුන් සමග යමක් දොඩන්නට සිත්විය. නමුත් කොන්දොස්තර ගුරුන්නාන්සේ පඩුරු ඉල්ලගෙන ආ නියා ඒ සිතුවිල්ල මට මදක් ප්‍රමාද කරගන්නට සිදුවුණි. නමුත් ඒ අවසරයෙන් උක්ත සිසුන් දෙදෙනාගේ මුවෙන් නික්මුණු වදන්ද මෙහිලා අකුරු කිරීමට කැමැත්තෙමි. "weekend එකේ නිකං ගෙදර ඉන්නවට වඩා නරකද බං ගමේ A/L class එකක්වත් පොඩියට පටන් ගත්තොත්...? ඔව් බං මටත් හිතිලා තියෙන්නේ...නිකං ගෙදර ඉන්න එකේ පැයකට අඩුම 1500ක් වත් කපන්න පුළුවන්. උබට කියන්න English medium කලොත් ගේමක් නැතිව 2500ක් වත් පැයකටට කපාගතහැකි..." මම අනිච්චානුගවම ඔවුන්ගේ මුහුණු දෙස එබී බැලුවෙමි. ඒ අන් කවරක්නිසා වත් නොව, කොන්දා ඉතුරු සල්ලිත් අරං මාරු වෙන වංගියේ පෙරකී කන්නන්ගර දරුවන් පරයා නැගුනු, මෙකි හඬේ අයිතිය පසිඳලීමට නොහැකිව විපිළිසර වීමෙනි. 
මොහොතකට පෙර, මුදල් මත අධ්‍යාපනය තීරණය නොකලයුතුය යන්න ගැන අධෝමුව විකා ගෙන දෙසා බෑ මොවුන් දෙපලගේ ගේ මුවින්ම මේ කියවෙන්නේ කවරක්ද...? ඔවුන්ගේ සිතුවිලි...මදක් විමසා බලන්න...!

සැ:යු :- මේ සටහන සමස්ථ ශිෂ්‍ය ප්‍රජාවෙන් අතලොස්සක් නියෝජනය කරන, සිය පැවැත්ම උදෙසා "දෙබිඩි" ආකල්ප උසුලන්නා වූ අයවලුන් පිරිස ගැන අප්‍රසාදයෙන් ලියවුවක් බව සලකනු මැනවි...

රෝදයකට පුලුවන්ද මිනිස්කම දෙන්න ...?


උදේ පායපු ඉර
කියුවත් නවතින්න
ඇහුන-නෑහුන ගානට 
බහින හැටි හිමිහිට
දකුණු වෙරළට
හරි අගෙයි
හවහකට...!
පානදුර පහුවෙලා
කළුතරට කිට්ටුව
වස්කඩුව මයේ හිතේ...
රෝද තුන දෙක වෙලා
නැවතිලා ඇල වෙලා
ඇතුලේ උන්
පොඩි එකා අඬනවා
ඇහෙන කොට,
බැලුවේමි හිස යොමා
කවුළුවෙන් අනෙක් පස,
තඩිම තඩි භරනියක්
වගේ රතු වෙසල් එක
යටකළා මග හැලුණු
අහිංසක ත්‍රී රෝදේ
උගේ ගෙට හැරෙන තැන
ගැලවිලා වටුනුකොට ....

අලුත් හේතුව...

ඉස්සර පුංචි කලේ උදේට ඇහැරෙන්නේ පහල වෙලත් එක්ක යා වෙලා තියන පුංචි පිට්ටනියේ ගැටගහන වහු පැටියාගේ සද්දෙට... කාලය ගෙවිලා හිටිහැටියේ ඔත්පල වෙච්ච කිරි කඩේ සියා ගේ අභාවයත් එක්ක, කිරි හරකත් එක්කම ඒ පුංචි වහු පැටියත් රහසේම හොරු දක්කාගෙන ගිහින් තිබුනේ කඩේ අච්චි අම්මත් ලෙඩ ඇඳේ ඉන්දෙද්දීමයි. ඒ එලදෙනත් එක්ක හිටපු හරක් පට්ටියෙන් ගමේ වටපිටාවේ ගෙදරක පැල ඉනිවැටක් කෙහෙල් දැල්ලක් එළවලු කරලක් බේර ගන්න තිබ්බ අමාරුව නිසාම ගමේම කෙනෙක් ඔය දේ කළා කියලයි, වැස්සිත් පැටියත් නැති දුකින්ම මියැදෙන්න වුන කඩේ අච්චි අම්ම අන්තිම වචන ටිකෙන් කියල තිබුනේ. කොහොමින් කොහොම ඒ අහිංසක සත්තු දෙන්නගේ ඉරණම ඒ විදියට ලියවෙද්දී, පහල වෙලත් වෙන්දේසි වෙලා පොඩි පහේ මොන්ටිසොරියකුත්, තට්ටු දෙකේ තුනේ ගෙවල් කිහිපයකුත් ඒ හරක් බැඳපු, පොඩි උන් සෙල්ලං කරපු කොලපාට වෙලේ මතක මත අද ඉදිවෙලා...

කරුණු කාරනා ඔය විදියට සිද්ද වෙද්දී, ස්කොලේවත් නොයන වයසේ උන්නු මට උදෙන් ඇහැරෙන්න වෙනත් හේතුවක් හොයාගන්න සිද්ධවෙනවා. අද වගේ ඇහැ ඇරලා අයෙමත් ඇහැ පියාගන්න තරම් හේතු වෙන වැඩ කන්දරාවක් ඔලුවේ නැති නිසාමද නැත්නම් මේ ලෝකෙට අලුත් කෙනෙක් වෙච්ච නිසාද කොහේදෝ එලිවෙන්න නැගිටගෙන මිදුලට බහින එක තරම් සතුටක් ඒ කාලේ තිබුනේ නැති තරම්. වහු පැටියත් නැතිවෙච්චි, මගේ ඊළඟ එලර්ම් එක උනේ උදේ පාන්දර අම්බලන්ගොඩට යන පලවෙනි CTB බස් එක. අම්බලන්ගොඩ ඩිපෝ එකට තිබ්බ එකම බෙන්ස් බස් එක වෙච්චි, මේ 23 ශ්‍රී දොර දෙකේ රතු බස් එක ගොඩක් දවසට අපේ ගෙවල් පහලදී බොයිල් කරන්න ගන්නවා. ඉතින් ඒ බව දැන දැනත් විකල්ප නැති හැමදාම උදේට වැඩට යන මිනිස්සු බස් එකෙන් බැහැගෙන ගෝරනාඩු කරන සදෙට බෙන්ස් එන්ජිම බොබ් බොබ් ගලා සමච්චල් කරනකොට ඔන්න මම ඇහැරෙනවා. එත් කාලයත් එක්ක AB1 කියන අංකය පරණ බෙන්ස් එකෙන් ගැලවිලා අලුත් අශෝක් ලේලන්ඩ් එකක පින්තාරු වෙද්දී, දැන් දැන් පහේ බස් එක ගේ ගාවින් ගිහිල්ල කියල දැනගන්නේ ඔරලෝසුවේ උදේ පහ පන්නපු කටු දිහා බලලයි.

ඔය විදියට කාලය විකාශනය වෙද්දී, විවිධ සාර්ථක වගේම සැහෙන්න අසාර්ථක හේතු උදෙන් නැගිටින්න අත්හදා බලනවා. එත් මේ හදිස්සියේ ඕව ඔක්කොම මතක් උනේ මේ නිවාඩුවට ගෙදර ආපුවාම ටිකක් අමුතු විදියේ අද්දැකීමක් උදේට නැගිටින්න හේතු වෙච්ච නිසයි. ඒ දැන් දැන් උදෙන්ම ගිනිකොණ දිග ඉතා ඉහල අහසෙන් මතුවෙලා සුදු පාට රේකාවක් මවාගෙන ටිකක් සද්දෙට වයඹ අහසින් අතුරුදහං වෙන මගී ගුවන්යානා නිසයි. ගොඩක් දුරට මේ අලුත් ගමන්මඟට හේතුව මත්තල හදිසි ගොඩබෑමක් ඉලක්ක කර ගත්තු ඉන්දුනීසියාව, ඔස්ට්‍රේලියාව වගේ පෙරදිග රට වල ඉඳන් ඩුබායි හෝ ඒ හරහා යුරෝපය වෙත ගමන්ගන්නා යානා වෙන්න පුලුවන්. කටුනායක පැත්තේ එහෙම ඉන්න අයට නම් මෙව්වා සාමාන්යය දේවල් උනාට, මේ සිද්දිය නම් මට නුහුරු අලුත් අත්දැකීමක්... එත් හෙට අනිද්දා උදේට හා රාත්‍රියට එක ගමන් වාරය බැගින් ගුවනේ සරන මේ ඝෝෂාකාරී තනි මගී යානය වෙනුවට තව බොහෝ යානා ගමන් ගන්නට ගත්තොත් උදෙන් නැගිටින එක කෙසේවෙතත් රෑට නිදා ගන්න එකත් අව්ලක් වෙන්න පුලුවන්... -_- :D